top of page

B

L

O

G

Recent Posts

‘’අනෙකාගේ ලේ මතින් තහවුරු කරනා මිනිසාගේ පුද්ගලික අයිතිය........’’

  • Jala
  • Jan 10, 2017
  • 5 min read

කැලැල් සමජය

’අනෙකාගේ ලේ මතින් තහවුරු කරනා මිනිසාගේ පුද්ගලික අයිතිය........’’

මා කුඩා කාලයේ දී අපේ පවුල් වලට සම්බන්ධ අයට හරකුන් හිටියා. ඒ අය හරකුන්ගෙ ඇගේ හණ ගහණවා අපි දැකලා තියෙනවා. ඒක අපිට හරි අමානුෂික යි. ඒ උනාට ඒක කරන අයට ඒ දෙය අමානුෂික නෑ. ඒක අමානුෂික උනත් එය අපි නොබලා හිටියෙත් නැ. ආරම්භයේ සිට අවසානය දක්වා ම අප ඒක බැලුවා. ඒ සිදුවීම් ජාලය තුළ ත්‍රාසය, භීතිය, දුක, සහ විනෝදය පවා ඇති උන අවස්ථා තියෙනවා. දවසක් අපේ බාප්පලා හරකකු හණ ගහලා උගේ කකුල් ලිහා දමන කොට සිදු වුණ අකරතැබ්බයකටයි අපිට හිනා ගියේ. වැඩේ ඉවර වෙලා කකුල් ලිහා දැමීමට කකුල් ගැටයේ සිට දිගට තබා ගත් ළණුවකුයි තබා ගන්නේ. එය අදිමින් ගැටය ලිහෙන්න සළස්වා ළග තියෙන ගස් වලට නැග ගැනීමයි හැමෝගෙ ම බලාපොරොත්තුව. කව්රුත් දන්නවා හරකගේ ආවේෂය නරක ප්‍රතිඵල දෙන බව. දවසක් ගැටය ඇද ලිහනවාත් සමග ම එතැනින් ස්කාගාර සංස්ථාවේ සේවය කරන විධායක නිළධාරියෙක් ගියා. ඔහු අපේ ගම්වාසියෙක්. ඹවුන් අපේ ගමට හිටිය උගත් මධ්‍යම පන්තියේ අය. මේ අය අපේ බාප්පලා එක්ක කිසි ම ගණුනෙුවක් තිබ්බෙ නැහැ. ඒ අය ගැන ඒ අය උහුලා ගත නොහැකිව විවධ අව කැපෙන කතා කියනවා නම් අපිට ඇහිලා තිබුණා. එහෙම උනත් මූණට කිසි ම එදිරිවාදිකමක් පෙන්නන්න අපේ බාප්පලාට පෞරුෂයක් තිබ්බෙ නැහැ. මුව හමට තඩි බානවා වාගේ නොගැලපෙන තැන් වල විවේචනය කරන එක විතරයි එයාලා කරේ. මේ අනපේක්ෂිත අවස්ථාවේ මේ ස්ථානයෙන් ගිය අර නිළධාරී මාමාගේ පස්සෙන් එළවලා විසිවෙන්න අර හරකා ඇනගෙන කැළේට දුවගෙන ගියා.ඉතා හෙමින් වටපිටවත් නොබලා සංවර ලීලාවෙන් ගමන් කරන අර නිළධාරි මාමා උඩින් ම විසි වී බිම ඇද වැටුණා.කව්රුවත් නැති ළදු කරළෑවක් අසබඩවයි මේක උනේ. අපිටත් ඉබේට ම වගේ හිනා ගියා. කොහොම උනත් පොලිසි ගිහින් තමයි අන්තිමට ඒ සිද්ධිය විසදුනේ.

ගව පාලනයේ දී හරකුන් අදුරා ගැනීම පිණිස විවිධ ක්‍රම භාවිතා කරනවා. හණ ගහණ එක පැරණි ම ක්‍රමයක්. ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය, ඩෙන්මාකය වගේ රටවල් මේ හණ ගහන ක්‍රමය භාවිතා කරන්නෙ නෑ. ඔවුන් හරකගෙ කණ විදලා ටැග් එකක් දමනවා. සමහරු අනේ එන්ග්‍රේවින් මාර්ක් එකක් දමනවා. හරකගේ අනේ උනත් කපන කොටන කොට ඌට රිදෙනවා. අපේ නියපොත්තක් උඩ හෙමින් හූරන කොට වගේ නෙමෙයි තදින් හූරන කොට. උඩ ම ස්ථරයේ පමණක් එන්ග්‍රේවින් එක වදින විධියට සූක්ෂම ව යි මෙය කරන්නේ.මීට වඩා හරකුන් දැඩි අපහසුතාවට පත් වෙන වැඩේ තමයි උන්ගෙ කකුල් කුර වල ලාඩම් ගහන එක. අශ්ව ලාඩමුත් එහෙම යි. කකුල් වල කුර පසාරු කරලා සිදුරු කරලා කුරයේ හැඩයේ යකඩ ලාඩම් එම සිදුරුවලට ඇණ වලින් සම්බන්ධ කිරීමයි මෙහිදී වෙන්නේ. එහෙ ම නැතුව ශෛල්‍යකර්මයක් උනත් කරන්න බැරි බව කව්රුත් දන්නවා. නිර්වින්දනය කරලා ඒක කරත් සිහිය ආවට පස්සෙ මොකද වෙන්නෙ කියලත් දන්න අය දන්නවා.

හණ ගහන එක නම් මාත් අනුමත කරන්නෙ නෑ. අනෙක අපේ බාප්පලා හණ ගැහුවට හරකගෙ මුළු ඇග පුරා ම හණ ගැහුවෙ නෑ. අදුනාගත හැකි කෙටි සංකේත විතරයි භාවිතා කරේ. අනෙක හරකුන් පිළිබද රාජ්‍ය සංගණනයන්ට හණ ගසා තිබීම ඒ කාලේ අවශ්‍ය උනා.හණ ගහණ අවස්ථාවෙත් තුවාලය සුව වෙනකනුත් හරකා ලොකු කරදරයකට මුහුණ දෙනවා නම් අපිත් දැකලා තියෙනවා. තුවාල කබොලු කපුටන් රෑන් පිටින් පැමිණ කා දැමීමට දරණ උත්සාහයයි හරකා එයින් මිදීමට දරණ උත්සාහයයි ඇත්නේ ම ඛේදවාචකයි. නමුත් තුවාලය සනීප වීමෙන් පසු එය හරකට ඉතා ම සාමාන්‍යයි. අනෙකුත් හරකුන් වගේ ම ඉන්නවා. ලංකාවේ තවමත් පරණ සම්ප්‍රදායයන් සමහර ඒවා තියෙනවා එහෙම ම. මේවා සත්ව පාලනයට අදාල පවුල් වලට සාමාන්‍ය වූ දේවල්. ඒ වගේ ම තමයි හමුදා පවුල් වල අයට මිනිස්සු මරණ එකත් වෙනස් රස්සාවල් කරන අයට වගේ නෙමෙයි ඒක සාමාන්‍යයි. අපි කැමති උනත් අකමැති උනත් සමාජය ඔහොමයි. අනෙක මස් මාංශ සදහා නෙමෙයි කිරි ආහාර හා වෙනත් අවශ්‍යතා සදහා කරන සත්ව පාලනය උනත් අහිංක දෙයක් හැටියට නෙමෙයි කරන්නෙ. ඒවා හරියට දැක්කොත් හැමෝ ම මහණ වෙනවා. සමාජ සමතුලිතභාවය පාලනය වීමට අපි අකමැති දේවල් වලින් ගොඩක් සේවයක් වෙනවා. මස් පිණිස හරකුන් නොමරන්නේ නම් බෙර වලට හම් නැතුව යනවා. බෙර බුද්ධාලම්බන ප්‍රීතියට ලොකු සේවයක් කරන බව හැමෝ ම දන්නවා. ඒ වගේ ම ලෝකයා ඉදිරියේ අපට ආවේණික සංගීත සම්ප්‍රදායයන් බවට පත් වෙලා තියෙන්නෙ සතුන් මරා හදා ගත් බෙර වාදන ආශ්‍රිත සංගීතය බවත් හැමෝ ම දන්නවා. අපේ සල්ලි කොළ වල සාඩම්බරයෙන් මුද්‍රණය කරලා තියෙන්නෙත් මේවා.මගේ අදහස තමයි මේ සාපේක්ෂ සත්‍යයෙන් වියුක්තව මේ වගේ ඒවා ගැන අනේ අපොයි කියන්නෙ ඇයි කියන එක. කුඩා දරුවෙක් හෝ සතුන් ඇති දැඩි කරන්නෙක් දරා ගැනීමේ සහජ ප්‍රකම්පන සංවේදීතාවයෙන් යුතු දුර්ලබ අයයි අනේ අපොයි කීම ස්වභාවිකයි. නමුත් දයානිගෙ පොස්ටුවේ්‍ෙ ඇති කමෙන්ට් බැලුව ම පෙනෙන්නෙ ගව පාලනය වගේ විෂයක් ලංකාවේ නොපවතින බවකි. සමාජය තුළ මේ ආන්තික ව්‍යාජ කරුණාවයි මට ප්‍රශ්නයක් වෙන්නේ.හණ ගැහීමේ විෂය ආචාරධාර්මිකව කරන්නේ කොහොමද කියන එකත්, ඒ වෙනුවට වෙනත් විකල්ප නැද්ද කියන එකත් සාකච්ඡාවට ගන්නෙ නෑ. හරකගෙ අයිතිකාරයට බැන්නට වැඩකුත් නෑ. හණ ගහන්නෙ හරකගෙ අයිතිකාරය ම නෙමෙයි. ( මෙ පොස්ටුවේ දයානි විසින් අයිතිය ගැන සටහනක් තබලා තියෙන නිසයි ඒ ගැන කියන්න හිතුණේ.) අයිතිකාරයා සමග තියෙන ආරෝවක් ඇග පුරා හණ ගැසීමෙන් භක්තියේ ව්‍යාජ වේෂයකින් හාස්‍යයක් හැටියට හණ ගහන අය විසින් කරා වෙන්න බැරි නෑ. එහෙම උනා නම් ඒක පන්ති වෛරයක්. නැතිනම් හන ගහන කෙනාගේ මෝඩ මුග්ධ චූන් එකක් හැටියට ප්‍රකාශ උනා ද දන්නෙ නෑ. එහෙම උනානම් කැළේ නීතියට අනුව ග්‍රීස් යකුන් අල්ලා ගස් බැද දස වද දීමේ දේශීය ග්‍රාම්‍ය පුරුෂ ප්‍රමෝදයට සමානය. කණේ ටැග් එල්ලන්න උනා ම හන ගහන රස්සාවට තමන් හදාගෙන තියෙන තැන නැති වෙන බියෙන් පමණට වඩා හරකගෙ ඇග පුරා ම හණ ගහලා රැකියාව පුම්බන ප්‍රමෝෂන් එකක් හැටියට උනා ද දන්නෙ ත් නෑ. එහෙම උනානම් සමාජ පරිවර්තනයන් සමග ඇති වන සමාජ ස්ථර වල දෙදරවීම් වල ප්‍රතිබිම්බයකි ය. අයිතිකාරයා නොවන වෙනත් සතුරකු වන අයකුට පහර ගැසීම පිණිස හරකා මැරෙන තුරු ම මකා දැමීමට නොහැකි වන ලෙස අපාහාස කිරීමේ අතිශය දුෂ්ච චේතනාවෙන් කරපු එකක් ද දන්නෙ නෑ. ඒක එහෙමනම් එළදෙනගේ ශරීරයට වඩා කැලැල් වන්නේ එම ගැහැණියටයි. ( මේ වගේ ම වැඩක් 56 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සමගද සිදු විය. නොම්මර තහඩු සදහා ‘ශ්‍රී’ අකුර යොදා ගැනීම ගැන ඊට විරුද්ධ වූ දෙමළ සමාජය සමග උරණ වූ සිංහල සමාජය දෙමළ මිනිසුන්ගේ ඇගේ ‘ශ්‍රී’ අකුර පච්ච කෙටීමෙනි එය කෙළවර වූයේ. එමෙන් ම මේ වගේ ම තවත් වැඩක් පුරා විද්‍යාඥයකු වන ජගත් වීරසිංහ විසින් ද කළේ ය. එය ලංකාවේ සිවිල් සමාජයට තවමත් මීටර් වී නැත. ඔහු ලංකාවේ ඇති නොවූ කලා ප්‍රවණතාවක් ඇති වූ බවට ඉතිහාසය වෙනස් කළේ ය. එවකට සෞන්දර්ය කලා ඇකඩමියේ පිරිමි දුර්වල සිසුන් පිරිසක් තම නිවසේ නේවාසිකව තබාගෙන ඔවුන් කරන කලා නිර්මාණ සේ ලොවට පෙන්වා ඹවුන් ඒ ගැන කරන ප්‍රකාශ මෙන් ජගත් විසින් ම ඔවුන්ගේ නමින් පොත් - පත් - සගරා වල සටහන් තබා තමන්ගේ කලාව ගුරු කොට ගනිමින් බහුත්ව බහු ශෛලීය කලා ප්‍රවණතාවක් හැටියට ‘’90 වේ ප්‍රවණතාව’’ යනුවෙන් ප්‍රවණතාවක් ඇති වූ බවට ආයතනගත කළේ ය. දැන් විශ්ව විද්‍යාල වල ඒ ගැන උගැන්වීමට ඔහු ම ගෝලයන් හදා යවා ඇත. සිදුව ඇත්තේ කුමක් ද ? පනස් හයේ දරුවෝ, 70 දශකයේ කලාව වගේ සමාජයෙන් පසුකාලීනව ව්‍යවහාරිකව නම්පට බැදීම වෙනුවට කල් තියාම පුරාවිද්‍යාඥයකු විසින් පුරෝකථනය කරමින් ඇති නොවූ ප්‍රවණතාවක් ගැන නැති ඉතිහාසයක් ස්ථාපිත කිරීම ය. මෙහිදී හැමෝ ම නොදන්නේ ඔහු ‘කාලය’ යන්න තුළ හණ ගසා ඇති බව ය. 90 වේ ප්‍රවණතාව යනු එම හණ යි. හීවෝස් ෆන්ඩ් වලින් ඔහු හරිම පහසුවෙන් සමාජ ඇසට වැලි ගසා තම පුද්ගල ආසාව සන්සිදුවාගෙන ඇත. ඔහුට කෙණහිලිකම් කරන ලද අතීත සමාජයෙන් ඔහු පළි ගසන ලද්දේ පුරා විද්‍යාව පළිහක් කර ගනිමිනි. දැන් විශ්ව විද්‍යාල වල ප්‍රශ්න පත්තරවලට ද ඔහු එම ව්‍යාජ ප්‍රවණතා නාමය ඇතුලත් කොට ඇත. අර හරකාගේ පච්චය වගේ දැන් එය ද ඉවත් කළ නොහැකි ය.)

Comentarios


දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිතයත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි.  
-සුජිත් රත්නායක
සිත්තර වාසල
SITTARA WASALA
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2023 by JACK BANKS PHOTOGRAPHY. Proudly created with Wix.com
 

bottom of page