සුජිත් රත්නායක නම් වූ හුංගම සිත්තර බාස්සුන්නැහැ....
- විමල් දයානන්ද From Facebook
- Jul 18, 2018
- 2 min read

සුජිත්....(අපි කිව්වෙ අජිත් කියල) මට සම්මුඛ වෙන්නෙ 1990 තරම් අතීතෙක අපේ හිරිමල් යෞවනයෙදි..ඒ තංගල්ල තේක්කවත්ත උඩපාරෙ ,සෞන්දර්‍ය අධ්‍යන ආයතනයෙ දි... එවකට නොදියුණු ග්‍රාමීය පරිසරයක ඇතැම්විට අර්ධ නාගරික ජීවිතකට හුරුව හිටිය සුජිත් , හා හද්දා ගම්බද කොලුවකු වූ මා එකම පංතිය (බහුවර්ථයෙන් කීවක් මිස විෂය දැනුමෙන් ඔහු මට බොහෝ දුරිනි) නියෝජනය කලවුන් ය..මම උසස්පෙළ භෞතික විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ අවධියේ මෙරට ඇතිවූ දේශපාලන අරගලයේ ගොදුරක් නොවී ජීවිතය ගැටගසා ගැනීම සදහා අධ්‍යාපනය උසස් අධ්‍යාපනය අතරමග නවතා උකටලී ව සිටින විට එකල ඔය ආයතනය ස්ථාපිත විය. ආචාර්‍ය සරත්චන්ද්‍ර පරණමාන නම් වූ මගේ මුල් සංගීත ගුරුතුමා හා එවකට සුජිත් ගේ පියා වූ විලී රත්නායකයන් ගේ මූලිකත්වයෙන් කරගෙන ගිය එම ආයතනයේ දී සුජිත් නම් වූ සොදුරු යෞවනයා මට සම්මුඛ වේ. මා සංගීත විෂය ප්‍රගුණ කරනතර ඔහු ජන්මයෙන් ලද වාසනාගුණය යාවත්කාලීන කරමින් බොහෝ අපූරුවට චිත්‍ර ඇන්දේය. එපමණක් ද නොවේ, තබ්ලා වාදනයෙහි උපන් හපනෙක් වූ ඔහු මගේ රාග ගායනට accompany කලේය. ඔහු බොහෝ නිහඩ එහෙත් ඒ නිහඩ බව තුල බොහෝ අරුත්දුන් සුලවතෙක් විය..visual arts වල තාක්ෂනය ඉතාම අවම මට්ටමක පැවති එකල ඔහු ප්‍රකටකල විෂය ප්‍රාගුණ්‍යය ඉතා ඉහළ එකකි.ඒ ඔහුට පිය උරුමයෙන් ලද වාසනාගුණයකි. සුදු කැන්වසයක එකපැහැර පින්සල් කූර යවමින් ඔහුතින් මැවුණු සිතුවම් එකල මලගෙදරක, උත්සවයක ඉතා සුළභ දසුන් ය. මට අදවාගෙ මතකෙට එන්නෙ එක්තරා අවස්ථාවක අප ගුරුදේව සංගීත් නිපුන් සනත් නන්දසිරි සර් ගේ ආරාධනා ගී මියැසිය වෙනුවෙන් ඔහු සිතුවම් කළ අඩි හයහමාරක් පමණැති රූපකායයි. එහි ආශ්චර්‍යය නම් වර්ණිත පින්තූරයක් වූ එය ඔහු සිත්තම් කලේ එකවර්ණයකින් වීමය. අදටත් තංගල්ල තිස්සපාර ප්‍රධාන පාලමේ කොනක ඒ සිතුවම මා මනසින් දකිමි. නිතරම එක අරමුණක නිමග්න ඔහු වචනයක් කතාකලානම් එහෙමත් අවස්ථාවකය. ඒත් අපේ සමච්චලයක දී ඔහු මුවග නැගෙන යති විරති හසරැල්ල අදත් උදෑසන මගේ දුරකථනය තුල රැව්පිළිරැව් දුන්නේය.මධ්‍යහන රාත්‍රිය වනතෙක් ස්ක්‍රින් ප්‍රින්ටින් වැඩ අස්සෙ කපුගේ යන්ගෙ සසර දනව්ව අසමින් ලද විවේකයෙදි තබ්ලාවට බර තලමින් සින්දු කියන්නත් අපි හුරුවූ ඒ අතීතය මොනතරම් සුන්දර එකක් ද? සුජියා. ...උඹ සෞන්දරය විශ්ව විද්‍යාලයට යාමත් සමග උඹේ ජීවිතේ කඩයිම් බොහොමයක් වෙනස් වූ බව මා අසා දැනගත්තේ උඹේ තාත්ත ගෙන්. ඒ අතර උඹ ලංකාවෙ ප්‍රධාන Visual Artist ලා දහදෙනා අත ර මුල් නමක් දරාගෙන ඉන්නා බව දැනීම මොනතරම් ආහ්ලාදයක් ද? ඒ වගේ ම මා අතිශය කම්පාවට පත්කලේ සුනාමියත් සමග උඹේ කලාගාරයේ කඩාවැඩීම කණවැකුණ විටය.. සුජියා.... ජීවිතේ කියන්නෙ උඹත් මාත් තේරුම් අරං යන මේ ගමන අතරමග මුහුණදෙන අභියෝගයන් ය. ඒ ගමන යද්දි උඹටත් මටත් හිතින් හෝ සම්මුඛවියහැකි අවකාෂයක් හදමු.. උඹ අද කාර්‍යබහුල නාගරිකයකු වුණාට උඹේ අධ්‍යාත්මය තාම හද්ද පිටිසර ගමේ බව තේරුම් ගත්තෙ FB Profile යට උඹ ලියූ අන්වර්ථයෙන්. ඉතිං හුංගම සිත්තර බාස්සුන්නැහේ , නුදුරු දිනකදි සුපුරුදු සිනාවෙන් හමුවෙමු. එදාට පුලුවන්වේවි ,, රන්නෙ ඇලේ නාපු හැටි, ලොකු අක්කගෙ අඩෝඇඩියා අස්සෙ අපි ගී ගැයූ හැටි, නීල් අයියලයි ටයර් කඩේට අල්ලපු හෝටලේ කවුන්ටරේ අස්සට අතදාලා කාපු 2.50 බනිස් ගෙඩියත් එක්ක නොස්ටැල්ජිවාකට යන්න. ඉතින් උඹට දීර්ඝායු මිත්‍රයා! හා ...තව එකක් උඹ මා ගැන හිතන් ඉන්න හැටි යකූ inbox message. 😂😂😂.ඒවට වාසනාව දුරයි බොහොම මචං😢😢 සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින් දා කිව්වලු😂😂
විමල් දයානන්ද 2018/07/18
Comentarios