තේරෙන සහෝදරකම් සහ නොතේරෙන චිත්‍ර.
- උපුල් ශාන්ත සන්නස්ගල From Facebook
- Jul 26, 2018
- 2 min read
මට නොතේරෙන සහ රසිකත්වයක් නැති විෂයයන් අතර විෂයයක් තමයි චිත්‍ර. ඒක කලාවක් විදියටවත් විෂයක් විදියටවත් දෘෂ්ටිවාදයක් විදියටවත් මට තේරෙන්නේ නෑ. මට මතකයි දැනට අවුරුදු විස්සකට විතර කලින් කිංස්ලි ගුණතිලකගෙ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ කලා භවනෙ දි තියනකොට මම බලන්න ගියා. ඒ බලන්න ගියෙ ආරාධනා පත්‍රයක් ලැබිච්ච නිසා. ආරාධනා පත්‍රය ලැබුණේ පත්තරේ වැඩ කරන කියන අර්ථයෙන් මිසක් සන්නස්ගල කියන අර්ථයෙන් නෙවෙයි. මම යනකොට කේ. කේ. සමන් කුමාර; සර්පයා චිත්‍ර ප්‍රදර්ශනයේ පළවෙනි චිත්‍රය බලමින් හිටියා. මම ප්‍රදර්ශනය බලලා ඉවර වෙලා එනකොටත් සමන් ඒ චිත්‍රය බල බලා ඉන්නවා. පස්සෙ කාලෙක යාළුවොත් එක්ක මං කිව්ව එක්කො සර්පයට චිත්‍ර තේරෙන්නෙ නෑ. එහෙම නැත්නම් මට චිත්‍ර තේරෙන්නෙ නෑ. එහෙමත් නැත්නම් අපි දෙන්නට ම තේරෙන්නෙ නෑ කියලා.
ඔය පහුගිය කාලෙ ප්‍රගීත්ගෙ චිත්‍ර සම්බන්ධයෙන් කතා කරද්දි ප්‍රගීත් මට කිව්ව, නෑ ඒකෙ එහෙම අවුලක් නෑ. ඔයාට අනික් විෂයයන් එහෙම දකින්න පුළුවන් නම් චිත්‍ර විෂයයත් එහෙම දකින්න පුළුවන් කියල. මට පොඩි උනන්දුවක් ඇති වුණා චිත්‍ර සම්බන්ධයෙන් කියවන්න, අහන්න සහ මේ චිත්‍ර ප්‍රදර්ශනය බලන්න. ඒ වුවමනාව ඇති කිරීමේ එක් සාධකයක් මං හිතන්නෙ ප්‍රගීත්. තව පැත්තකින් ගත්ත ම රෝයල් තැප්‍රොබේනියන් එකේ එයා චිත්‍ර පන්තිය කරන එකත් මට සතියකට පාරක් චිත්‍ර පිළිබඳව අභ්‍යාසයක් ලැබෙන්න හේතුවක් වෙනවා. ඒ අභ්‍යාසය මං දකිනවා.
පස්සෙ කාලෙක මං නිර්වාණ පොත ලියද්දි වැංගෝ ගැන කියවන්න පටන් ගත්තා. මං එයාගෙ චිත්‍ර බලන්න පටන් ගත්තා. වැංගෝ එක තැනකදි කියනවා එයාට කන් දෙකට ඇහෙනවා වෙනුවට පේනවා කියලා. කන් දෙකට පේන්න පටන් ගන්නවා. එතකොට මට සමහර විෂයයන් ඇස් දෙකට ඇහෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නෙ ඇස් දෙකට පේනවා කියලා. ඒත් ඇස් දෙකට ඇහෙනවා. දැන් මේ වගේ කාරණාවක් එක්ක ජගත් වීරසිංහ සහ සුජිත් රත්නායක දෙන්නා අවුරුදු පහළොවකට විස්සකට විතර එහා කරන් ගිය සංවාදය නැවත දැන් මට ඇහෙන්න පටන් ගන්නවා. මං ඒ කාලේ සංවාදය කියෙව්වෙ විෂය තේරුං ගන්න නෙවෙයි. දෘෂ්ටිවාදය තේරුං ගැනීමේ ඕනකමකින්. මට චිත්‍ර සම්බන්ධයෙන් කලා විචාරකයෙක් වෙන්න ඕනකමක් තිබුණෙත් නෑ. ඒ සම්බන්ධයෙන් රසිකයෙක් වෙන්න ඕනකමක් තිබුණෙත් නෑ. හැබැයි මම ඒ සංවාදය කියෙව්වෙ දෘෂ්ටිවාදී අදහසකින් මාව පෝෂණය කර ගන්න. එහෙම නැත්තං මගේ ජීවිතය සම්බන්ධයෙන් පාට් එකක් ගලවගන්න ටූල් එකක් වශයෙන් සංවාදය පාවිච්චි කරන්න.
මේ මොහොතේ පරණ සංවාදය මට ඇහෙන්න පටන් අරං තියෙනවා. ඒ සංවාදය මට දැනෙන්න පටන් අරං තියෙනවා. එතකොට මං ප්‍රගීත්ගෙ 'එකලස් රූප' චිත්‍ර ප්‍රදර්ශනය බැලුවහම මට ඒ සංවාදෙට ඇහුම්කන් දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මං ආපහු මංසන්ධියක ඉන්නවා.
සුජිත් රත්නායක සහ ප්‍රගීත් රත්නායක කියන්නෙ අයියයි මල්ලියි.
'සහෝදර සංකීර්ණය' ඒකෙ නම.

Comments