top of page

B

L

O

G

Recent Posts

මගේ ප්‍රතිපත්ති

  • Sujith Rathnayake
  • Jan 10, 2017
  • 5 min read

1. නිදහස් කලා නිර්මාණයක් හැටියට මවිසින් කලාගාරය තුළ දී ඉදිරිපත් කරන ලද නිර්මාණයක් නැවත එහි පිටපතක් හැටියට කුමන පාර්ශවයක් වෙනුවෙන් කුමන තත්වයක් තුළදිවත් නැවත නිර්මාණය නොකරමි.

2.දෟෂ්‍ය කලාව තුළ නියලෙන මාගේ ඥාතීන් වේනම් දෟෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ අත්සන විෂයට අදාළ පිළිගත හැකි හේතු පාඨ සහිතව මිස පටු අරමුණු පෙරදැරිව කිසිදු ආකාරයක ඥාති සංග්‍රහ සදහා භාවිතා නොකරමි.

3.මට සාපේක්ෂව දැනුම-කුසලතා-ආකල්ප-බුද්ධිය-වයස-පන්ති ස්වභාවය යන ඒවායේ අධික ලෙස දුර්වල යැයි මා හට හැගී යන, බරපතල ලෙස අසමතුලිතතාවයන්‍ෙ යුතුවූවන් කිසිදු ආකාරයකින් මවිසින් පුරෝකථනය කර ගන්නා ලද මාගේ පුද්ගල ව්‍යාපෘති තුළ පිහිටුවා නොගන්නෙමි.

4.අපාරදෘෂ්‍ය කලා කදවුරු, වැඩමුළු, නේවාසික වැඩසටහන් කිසිවකට මම සහභාගි නොවන්නෙමි.

5.හේතු පාඨ යටතේ නිර්මාණ තක්සේරු කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙන චිත්‍ර-මූර්ති තරග සදහා මිස 1,2,3 ආදී ලෙස ස්ථාන තේරීම වෙනුවෙන් කිසිදු චිත්‍ර-මූර්ති තරගයක් විනිෂ්චය කිරීමට මම සහභාගි නොවෙමි.

6.කිසිදු කලාගාර හිමිකරුවකු සමග නිර්මාණ වල ස්වභාවය හා එහි රුවගුණ මුල් කරගෙන කලාගාර ප්‍රදර්ශන සදහා ගිවිසුම්ගත නොවෙමි.

7.කලාකරුවකු හැටියට මා තුළ පවතින දෘෂ්‍ය රූපී කලා අනන්‍යතාවය කලාගාර අවකාශයක දී හෝ ඒ හා සමාන වෙනත් විකල්ප අවකාශයකදී හැර පුද්ගලික ගෘහ නිර්මාණ අවකාශ සදහා මම භාවිතයට නොගනිමි.ගෘහ නිර්මාණ අවකාශ සදහා ම ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අවශ්‍යතාව මත ගෘහ නිර්මාණ සංකල්ප සමග සුසංගත වන දෘෂ්‍ය කලා නිර්මාණ ව්‍යවහාරික කලා කටයුත්තක් හැටියට සළකා මවිසින් කරනු ලබන අතර ඒවා අනෙක් සෑම කලා කටයුත්තක් වගේ ම මම ප්‍රසිද්ධ කරමි. ඒ සෑම කටයුත්තක් වෙනුවෙන් ම මම රසික සමාජයට වග කියමි.

8. කලාගාර වල ප්‍රදර්ශනයට තබන කලා නිර්මාණ සදහා හෝ ව්‍යවහාරික කලා නිර්මාණ සදහා හෝ බාහිර කලා ශිල්පීන්ගේ සහය සහ වෙනත් ශිල්පීය සහයන් මවිසින් ලබා ගන්නේ නම් ඔවුන් කව්රුන් ද යන වගත් ඔවුනගේ් වෘත්තීය සහාය කුමක් ද යන්නත් මම ප්‍රසිද්ධ කරමි. බාහිර ශිල්පීය සහාය ලබා මවිසින් කරන කිසිදු කලා කටයුත්තක් මාගේ පුද්ගලික ක්‍රියාකාරකමක් හැටියට කිසිදු ආකාරයකින් මම ප්‍රසිද්ධ නොකරමි.

9. මම කිසිදු දේශපාලන පක්ෂයක්, සමාගමක්, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය නොකරන අතර වේලාවේ හැටියට සමාජ ව්‍යාපාර සදහා පමණක් සම්බන්ධ වෙමි. එහෙත් ඕනෑ ම දේශපාලන පක්ෂයක්, සමාගමක් හෝ සංවිධානයක් සමග හිතමිතුරුකම් පැවැත්වීමට පසුබට නොවෙමි. එහි ප්‍රකාශකයකු හෝ සාමාජිකයකු නොවෙමි.

10. කලා නිර්මාණ වල අන්තර්ගතයට අදාළ කිසිදු සීමාවක් මවිසින් නොතකන නමුත් සමාජ ව්‍යවහාරික ජීවිතය තුළ පොදු හරයන්ට බලපාන ක්‍රියාකලාපයන්ට මම කිසි අයුරකින්වත් දායක නොවෙමි.

11. මොන ම හේතුවක් නිසාවත් මාගේ නිර්මාණාත්මක කටයුතු වලට බාලවයස්කාරයන් සම්බන්ධ කර නොගනිමි. බාල වයස්කාරයන් අදාළ කර ගන්නා නිර්මාණාත්මක කර්තව්‍යයක් වේනම් ඒ සම්බන්ධව බාලවයස්කාරයන් සදහා අදාල වන නීතිමය සීමාව තුළ පමණක් එසේ කිරීමට කටයුතු කරන අතර ඒ සෑම කටයුත්තක් ම ඔවුනගේ දෙමව්පියන් හෝ භාරකරුවන්ගේ ලිඛිත අනුමැතිය ඇතුව පමණක් කරමි.

12.තෝරා ගත් විෂයක් / තේමාවක් විෂද කරනු පිණිස තෝරා ගත් එක් කණ්ඩායමක් සමග පමණක් මම සමූහ කලා පුදර්ශන පවත්වන අතර විවිධ කණ්ඩායම් යටතේ කණ්ඩායම් ප්‍රදර්ශන සදහා සහභාගි නොවෙමි. තෝරා ගත් විෂයක් / තේමාවක් / හේතු පාඨයක් යටතේ විචාරක අවධානය ලබා සිටින හෝ පිළිගත හැකි වෘත්තීමයභාවයක් සහිත ප්‍රදර්ශන අභිරක්ෂකයකු පමණක් අභිරක්ෂණය කරන සහභාගිත්ව ප්‍රදර්ශන සදහා පමණක් අවශ්‍යතාවේ හැටියට සහභාගි වෙමි.

13.කලාකරුවන් සදහා අවශ්‍ය පොදු පාදක ව්‍යුහයන් සදහා පමණක් අවශ්‍යතාවේ හැටියට මා සටන් කරන අතර යාන - වාහන, ගෙවල් -දොරවල්, ඉඩ -කඩම් හෝ වරදාන හැටියට රැකී රක්ෂා හෝ කොන්තරාත්තු කිසිදු දෙයක් මම රජයකින් නොලබමි. මවිසින් සපයන ව්‍යවහාරික කලා සේවයක් වේනම් ඒ සදහා වන මිලක් හැටියට ඉන්වොයිසියක් මගින් ගනුදෙනුවකට අදාල මිලක් යටතේ පමණක් ලබා ගැනීමට සමහර විට අවකාශ ඇත.

14.කලාකරුවා යන්න වරප්‍රසාද ලත් වෘත්තියක් හැටියට මවිසින් නොසළකන නමුත් කලාකරුවා යන්නට හිමි විය යුතු වෘත්තීමයභාවය වෙනුවෙන් මම පෙනී සිටිමි. සිවිල් පරිපාලන නිළධාරීන්, විධායක ශ්‍රේණි නිළධාරීන්, නඩු කාරයින්, ආරක්ෂක අංශ නිළධාරීන් ආදී වරප්‍රසාද ලත් සමාජ වෘත්තීය ස්ථරයන් හැටියට කිසියම් රාජ්‍යයක් විසින් කලාකරුවා යන්න වක්‍රව හෝ විෂයගත කරන්නේනම් කලාකරුවා නියලෙන ආවේදන සන්තතීන් හා මනෝ පරිකල්පනයන් වල හැටියට එසේ කිරීම කලාකරුවාට කරන අගෞරවයක් හැටියට සළකා ඊට එරෙහි වෙමි. ( පසු ගිය පාලන සමයේ එසේ වෙමින් පැවතිණ )

15. සිවිල් බලය, රාජ්‍ය බලය, කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වීමේ බලය, භාෂා ව්‍යවහාර පරිචය, වෘත්තීය පළපුරුද්ද, ප්‍රාග් ධනය, එන්.ජී.ඕ. ප්‍රාග් ධනය, පිරිස් බලය....ආදී බල ව්‍යුහයන් ආදී කිසිවක් අංකුර කලා ශිල්පීන් පාගා දැමීමට හෝ පස මිතුරු කලාකරුවන් විනාශ කිරීමට මම භාවිතයට නොගනිමි. ( සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය අවභාවිතා කරමින් සිසුන් තම නිවසේ පදිංචිකරුවන් හැටියට තබා ගනිමින් කෘත්‍රීම කලා ප්‍රවණතාවන් ප්‍රොපර්ගැන්ඩාකරණය කළ තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සංවිධානය මෙන් ) මාගේ වෘත්තීය පසමිතුරුකම් වේනම් විවෘතව වෘත්තීම සීමාව තුළ නොපැකිල ව මම ප්‍රසිද්ධියේ ම ප්‍රශ්න කරමි.

16.මාගේ නිර්මාණ කටයුතු වලට අදාළ ආභාසය ලත් මූලාශ්‍ර වේනම් ඒවා මම ප්‍රසිද්ධ කරමි. එමෙන් ම මා සමග වර්තමානය වන විට එදිරිවාදිකම් පවත්වන එහෙත් මාගේ වෘත්තීය ජීවිතය තුළ ගුරූපදේශයන් / විවරණයන් ලැබූ සෑම ගුරුවර-ගුරුවරියන් ම කව්රුන් ද යන්න මම හෙළි කරන අතර ඔවුනතුරෙන් යමකු ගැන විවේචනයක් පවතින්නේනම් එය කිරීමට ද මම පසුබට නොවෙමි.

17. මාගේ ගුරුවර-ගුරුවරියන්, වෙනත් ගරු කටයුතු ඕනෑ ම අයකුට මාගේ වෘත්තීමය පරිසරය තුළ කරනු ලබන සමීප ආමන්ත්‍රණ රටාවන් කිසිදු ප්‍රසිද්ධ තැනකදී එම ආකාරයෙන් මම භාවිත නොකරමි. ( අයියා, මල්ලී, අක්කා, එතුමා,සර් ආදී ආමන්ත්‍රණයන් )

18. ව්‍යවහාරික කලා නිර්මාණ කටයුතු වලට අදාලව ඒවා පිළිබද රෙකමදාරු කරන්නන්ට හෝ සම්බන්ධීකරණ කටයුතු කරන කිසිවකුට කොමිස් මුදල් ලබා දීම හෝ කොමිස් මුදල් ලබා ගැනීම හෝ මා නොකරන අතර කිසිදු ශිල්පියකු සම්බන්ධ කිරීමෙන් කොමිස් මුදල් ලබා ගැනීමට ද මම කටයුතු නොකරමි.

19.මාගෙන් ගුරූපදේශයන් හෝ විවරණයන් ලබන කිසිදු ශිෂ්‍ය - ශිෂ්‍යාවක් සමග ඔවුන් මා කෙරෙහි පවතින ආදරය හෝ ගෞරවයේ තදාත්මික බැදීම මත ගුරු-සිසු සබදතාවට එහා යන ප්‍රේමාලිංගන සබදතාවන් හෝ වෙනත් අසම්මත බැදීම් සදහා වසගයට නොගනිමි. ඔවුන් සමග ගත කරන උගැන්වීම් වලට අදාල සීමාසහිත කාලය මිස තේරුමක් නැති කාලයන් මම වැය නොකරමි. ( ලංකාවේ බොහෝ කලායතන වල ලිංගික සූරාකෑම් එමට ය. ඇතැම් ඒවාට දෙමව්පියන්ගේ ආශීර්වාදය ලැබී ඇති අවස්ථා ඇත )

20.මා දෘෂ්‍ය කලාව ම පමණක් වෘත්තිය බවට පත් කර ගත් කලාකරුවකු වන බැවින් මා වගේ ම සිය වෘත්තීමයභාවය ලත් කලාකරුවන් වෙනුවෙන් ද මම පෙනී සිටිමි. දෘෂ්‍ය කලාකරුවන් නොවන වෙනත් වෘත්තීන්හි නියලෙන ඕනෑ ම අයකුට විනෝදාංශයක් හැටියට හෝ කලාකරුවකු හැටියට හෝ දෘෂ්‍ය කලා ක්ෂේත්‍රය තුළ නියලීමට කිසිදු ආකාරයෙන් මා අකුල් නොහෙලන නමුත් වෙනත් රැකියාවන් කරන ගමන් වංගු ආර්ථිකයේ අනුහස් ලබමින් රසික සමාජය නොමග යවමින් ‘සයිඩ් බිස්නස්’ එකක් හැටියට දෘෂ්‍ය කලාව මගින් මජර ලෙස කෘත්‍රීමව මුදල් ඉපයීමේ පටු අරමුණින් දාෂ්‍ය කලා ක්ෂේත්‍රය තුළ නැති ප්‍රශ්න හදන ඕනෑ ම අයකුට නොපැකිල ව මම පහර ගසමි.

21.කලා ශිල්ප කර්මාන්තකරුවන්, ජන කලා ශිල්පීන් ආදී ශිල්පීන්ගේ ශිල්ප කලා දැනුම හා පරිචය ලබාගෙන ඔවුනගේ කලාශිල්ප සුළු සුළු විපර්යාස වලට භාජනය කොට මම මගේ කලා නිර්මාණ හැටියට ඉදිරිපත් නොකරමි.

22. චිත්‍ර ඇදීම සදහා ම වෙන් කරන ලද බිත්තියක් මත හෝ එවැනි තාප්පයක් මත හෝ පුවරුවක් මත හෝ චිත්‍ර ඇදීමට ම ගන්නා අමුදුව්‍ය මතුපිට මත හැර අපගේ නිවසේ බිත්ති වල අපගේ දරුවන්ට හෝ වෙනත් කිසිම දරුවකුට චිත්‍ර ඇදීමට මම ඉඩ නොතබමි. හැකිතාක් දුරට වයස් මට්ටමේ හැටියට ඹවුනට ආයුධ, මෙවලම්, උපකරණ භාවිතයට ගැනීමට හුරු කරවීමට මම ක්‍රියා කරමි. ( විකල්පයන් ආරම්භයේ ම ලබා දීම ළමයින්ගේ අනාගතයට අසුභ බැවිනි )

23. මා මාගේ ජාතිකත්වයෙන් සිංහලයකු වන නිසා ද මාගේ මවි භාෂා ව්‍යවහාරය සිංහල භාෂාව වන නිසා ද මම සිංහලයින් ගහණ පරිසරයක හැදී වැඩුණ නිසා ද මගේ අද්දැකීම් හා පරිකල්පන මූලයන් සිංහල පරිසරයේ විභවයන්ගෙන් ප්‍රමුදිත වූ නිසා ද මම මගේ සිංහල ජාතිකත්වයට ආදරය කරන නමුත් මම මගේ ජාතිකත්වය පරමෝත්තමවාදයක් කර ගනිමින් තවත් ජාතිකත්වයන් පීඩාවට පත් නොකරමි. එමෙන් ම වෙනත් ජාතිකත්වයන් විසින් මාගේ ජාතිකත්වයට එම ජාතිකත්වය පරමෝත්තම ජාතිකත්වයක් සේ සළකා පීඩා කරන්නේ නම් ඒ සදහා මාගේ අප්‍රසාදය ද මම නොපැකිලව පළ කරමි. වාර්ගික සංහිදියාව, අස්වැසිල්ල, සුවපත්වීම, උපේක්ෂාව ආදී මනෝභාවයන් ඇති කරවනු පිණිස මිස කිසුදු ආකාරයක වෛරී මනෝභාවයන් කුළු ගන්වන යුදමය අද්දැකීම් පාදක ස්මාරකීය නිර්මාණ සදහා කිසිදු අයුරකින්වත් මම දායක නොවෙමි.

24. කිසිදු දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයක සමාරම්භක උත්සව අවස්ථාවට අනාරාධිතව මම සහභාගි නොවෙමි. එමෙන් ම එම ප්‍රදර්ශනය වැඩිහිටි කලාකරුවකු මගින් පවත්වන ප්‍රදර්ශනයක් නම් මාගේ දරුවන් ඒ සදහා සහභාි කර නොගනිමි.

සුජිත් රත්නායක

මෙම සටහන තවදුරටත් යාවත්කාලීන කිරීමට නියමිත ය.

Comments


දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිතයත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි.  
-සුජිත් රත්නායක
සිත්තර වාසල
SITTARA WASALA
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2023 by JACK BANKS PHOTOGRAPHY. Proudly created with Wix.com
 

bottom of page