S U J I T H R A T H N A Y A K E A R T
සුජිත්ගේ කලාව, උපත, පවත සහ ගැටුම
සුජිත් රත්නායක සමකාලීන දෘශ්‍ය කලාකරුවෙකි. ප්‍රචාරක දෘශ්‍ය කලා කටයුතු, කාර්මික හා ඩිජිටල් තාක්ෂණයෙන් ව්‍යාප්ත වීමට පෙර වැඩිමනක් කටයුතු අත්කම් ශිල්ප විධීන්ගෙන් නිර්මාණය කරන සමාජ පසුබිමේ සිය සුහුඹුල් අවධියේ ම ප්‍රාදේශීය ව්‍යවහාරික කලා කටයුතුවල නියැලුණ අයෙකි. ඒ වගේම ප්‍රාදේශීය ජන කලා ආශ්‍රේය කලා කටයුතුවලද 80 දශකයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ව්‍යවහාරික කලා කටයුතු වලද, 90 දශකයේ මුල භාගයේ රුහුණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ව්‍යවහාරික කලා කටයුතු වල සහ එවකට ආරිය බුලේගොඩ නායකත්වය දැරූ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව පිහිටුවා ගත් 'ජාතිය ගලවා ගැනීමේ ව්‍යාපාරය' නමැති දේශපාලන ව්‍යාපාරයේ කලා කටයුතු වලද ඇතුලු සමාජ දේශපාලන ව්‍යාපාරවල ව්‍යවහාරික කලා කටයුතුවල නියැලුණ අයෙකි. ගාල්ලේ සරත් වීරසිංහ යන අය මුණ ගැසීමෙන් පසු මොඩර්න් කලාව ය කියා වහරණ කලා ප්‍රභේදයක ආභාසය ඔහු ලබන අතර ඉන් අනතුරුව ඔහුගේ කලා ක්‍රියාවලිය ගමන් කරන්නේ ලක්දිව හා හිරු යන විකල්ප පුවත්පත් මගින් සංවිධානය කළ ජනතාවාදී කලා උළෙල විසින් ඇති කරන ලද ජනතාවාදී හා විරෝධාකල්පිත ය කියන ආකල්ප මතින්ද විනී හෙට්ටිගොඩ, බන්දුල පීරිස්, එස්.එච්. සරත්, අනුර හඳුන්නෙත්ති, රෝහණ පල්ලෙපොළ, සරත් ගුණසිරි පෙරේරා, සරත් චන්ද්‍රජීව, ආදීන් හරහා ඔවුනගේ අඩු - වැඩි ආභාසයන්ගෙන්ද වේ.
1994 දී හෙතෙම කොළඹ සෞන්දර්ය අධ්‍යයන ආයතනයට යාමෙන් අනතුරුව 90 දශකයේ මැද භාගයේ සිට 90 දශකය අගභාගය දක්වා කලු වර්ණයෙන් පමණක් චිත්‍ර නිර්මාණය කිරීම හේතුවෙන් කොළඹ බුර්ෂුවා සමාජ පන්තිය තුළ විශේෂ අවධානයක් ඔහුටද ලැබේ. පළලින් වැඩි පින්සලකින් වේගයෙන් දමා ගසමින්, වේගයෙන් උලා දමමින් චිත්‍රයේ රූපවල විස්තරාත්මක අංග ( detail ) මතු නොකරන ආරක් මෙම අවස්ථාව වනවිට ඔහුගේ කලා කෘති තුළ දිස් විය. ඒ වනවිට කොළඹ බුර්ෂුවා සමාජයේ විශේෂ අවධානයක් ලබා සිටි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් අතර චන්ද්‍රගුප්ත තේනුවර, සස්කියා පින්ටලෝන්,ජගත් වීරසිංහ, තිලක් සමරවික්‍රම, තිස්ස ද අල්විස්, දෘවින්කා මඩවල, ටී ශානාදනන්, රොහාන් අමරසිංහ ආදීහු වෙති. පින්සල පමණක් ආශ්‍රයෙන් කලු - සුදු සෞන්දර්ය ආරක් පෙන්වූ ඔහුගේ කලාව කෙමෙන් කෙමෙන් ග්‍රැෆික් ලක්ෂණ සහිත මොන්ටාජ් ලක්ෂණ පෙන්නුම් කරන්නට ගත් අතර 2000 වර්ෂයේ පුරහල බෝම්බ සිදුවීම පාදක කර ගනිමින් ඔහු විසින් නිර්මාණය කරන ලද පුරහල බෝම්බය කෘතිය මගින් එතෙක් පැවති දෘශ්‍ය කලාවේ සෞන්දර්ය ප්‍රවේශ, සෞන්දර්ය සම්ප්‍රදා, ගුරුකුල, සියල්ල අභියෝගයට ලක් වේ. ප්‍රස්තුතය තුළ පමණක් බහා අදාළ කර ගැනීමට බල කෙරෙන පරිදි සිදුවීමේ ප්‍රධාන චරිත දෙක වන චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මුහුණ හා බෝම්බය පුපුරුවා ගත් එල්.ටී.ටී.ඊ. තරුණියගේ සැබෑ මුහුණු ඡායාරූප මාධයෙන් දැක්වීමත්, බෝම්බය සිදුවෙන අවස්ථාවේ කලාකරු අධ්‍යාපනය ලෑබූ කලා ආයතනයේ ශිෂ්‍යාවන්ගේ සැබෑ මුහුණු එම සිදුවීමත් සමග අර්ථ පිණිස ගැලපීමත් ඊට හේතු වශයෙන් යෝජනා කළ හැකිය. එම කෘතිය මගින් විශද කළ ග්‍රාම්‍ය ව්‍යවහාරයෙන් හඳුන්වන 'අමු ගතිය' නිසා එය බුර්ෂුවා සමාජයේ අප්‍රසාදයටද ලක් වූ අතර එමගින් චිත්‍ර කලා සමාජයේ සම්මත වී තිබූ සාම්ප්‍රදාය්ක පින්තාරු තාක්ෂණයද අභියෝගයට ලක් විය. ඊජිප්තු පිරමිඩ චිත්‍ර, ඉතාලි පුනරුද සමය තෙක් ක්‍රිස්තියානි පල්ලි හා බැඳුනු බටහිර චිත්‍ර, ඉන්දියාවේ අජන්තා චිත්‍ර, ලංකාවේ නුවර යුගයේ චිත්‍ර ආදී මොඩර්න් කලාවට පෙර කතාන්දර කියන කලා ප්‍රභේදයක් හැටියට චිත්‍ර භාවිත වූ ඉතිහාසයෙන් පසු නව සන්දර්භයකින් කතාන්දරයක් කියන අති නවීන අනූපම ශ්‍රී ලාංකේය භාවිතයක් වූයේ එම කෘතිය ය. ආගමික හා රාජ්‍ය දෘෂ්ටිවාදයේ මානයන්ගෙන් බැහැරව කතාන්දරයක් යන්න දෘශ්‍ය කලාව තුළ අභිනවයෙන් 'පුරහල බෝම්බය' කෘතිය පිහිටවීම සුවිශේෂ විය. ඒ වගේම එතෙක් දෘශ්‍ය කලා සමාජය තුළ කලා කෘති නම් කරනු ලැබූයේ සිදුවීම්, හෝ පෙනෙන දෙය්න් නොව වක්‍ර වූද, සංකේතාත්මක වූද, ගැඹුරු වූද, දෘශ්‍ය කලාවේ මූලිකාංග පාදක වූද නම් වලිනි. කාලීන සිදුවීමක් පාදකව සිදුවීමේ නමින් ම කලා කෘතියක් නිම කොට නම් කරනු ලබන්නේ මෙම කෘතිය මගිනි. ඒ වගේම එම කෘතිය කලා කෘතියක රාමුව යන්න ද අභියෝගයට ලක් කළ කෘතියකි. රාමුවෙන් පිටත දක්වා කතාන්දරය පතුරුවන සෞන්දර්ය ආකෘතියක් එමගින් විශද විය. පුරහල බෝම්බයෙන් පසු දෘශ්‍ය කලා කෘතිය සෞන්දර්යාත්මක තල තුනකට බෙදා 'ක-ග-ජ' යනුවෙන් නම් කොට කළ කලා මාලාව, 'ලබ්ධියක කතාවක්' කලා මාලාව, අක්ෂර වලට මුල් තැන දී අක්ෂර වලින් පමණක් කළ 'අක්ෂර පාදක කලා මාලාව' ආදී කලා මාලා කිහිපයක් ඔහු විසින් කලා සමාජයට අභිනවයෙන් හඳුන්වා දෙන ලදී.

