Shape සහ Form ( හැඩ සහ හැඩතල ) අමරදේව ගැන සිත්තරකුගේ ඇසින්
- සුජිත් රත්නායක Sunday,13 Nov 2016 රාවය
- Nov 13, 2016
- 7 min read

චිත්‍ර කලාවේ මූලිකාංග අතර 'හැඩ' සහ 'හැඩ තල' යනුවෙන් මූලිකාංග දෙකක් තිබේ. මගේ නිරීක්ෂණයට අනුව චිත්‍ර කලාවේ නියලෙන්නන් අතර හැඩ හදුනා ගන්නා ප්‍රමාණයට වඩා හැඩතල හදුනා ගන්නා ප්‍රමාණය ඉතා ම අඩු ය. එය අතලොස්සක් තරම් ප්‍රමාණයකි. ඩයනාගේ ශරීරයට වඩා නිරෝෂා විරාජිනීගේ ශරීරයේ හැඩය වෙනස් ය. නිරෝෂාගේ ශරීරයේ හැඩයට වඩා පබාගේ ශරීරයේ හැඩය වෙනස් ය. පබාගේ ශරීරයේ හැඩයට වඩා නදී කම්මැල්ලවීරගේ ශරීරයේ හැඩය වෙනස් ය. නදීගේ ශරීරයේ හැඩයට වඩා නෂ්රින් සන්සෝනිගේ හැඩය වෙනස් ය. නෂ්රින්ගේ ශරීරයේ හැඩයට වඩා අයිරාංගනී සේරසිංහගේ ශරීරයේ හැඩය වෙනස් ය. අයිරාංගනීගේ ශරීරයේ හැඩයට වඩා චන්ද්‍රලේඛා පෙරේරාගේ ශරීරයේ හැඩය වෙනස් ය. චන්ද්‍රලේඛාගේ ශරීරයේ හැඩයට වඩා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ශරීරයේ හැඩය වෙනස් ය. චන්ද්‍රිකාගේ ශරීරයේ හැඩයට වඩා මදිවාදිනීගේ ශරීරයේ හැඩය වෙනස් ය....... මේ වගේ හැඩ අතර වෙනස්කම් දෘෂ්‍ය සාක්ෂරතාවෙන් කියවන තරමට මේ එකිනෙකා දෘෂ්‍යමාන ව වෙනස් වන ''හැඩ තල'' කියවීමට හැමෝට ම බැරි ය. ( එසේ හැකි උවත් ඉදිරිපත් කිරීමට නොහැකි ය )
මේ අයගේ රූප වල සෙවනැලි හැටියට ඥානණය වන පැතලි ස්වරූපය හැඩය හැටියට සෙවනැල්ලෙන් තොරව යි අප තේරුම් ගන්නේ. අසවලාගෙ උකුල ලොකුය, පියුයුරු විශාල ය, ඇගිලි කෘෂය, මහතය කෙට්ටුය ආදී ලෙස බහුතරයක් ඥාණනය කර ගන්නේ හැඩ පිළිබද සංජානනයෙනි. නමුත් හැඩතල යනු පහසුවෙන් නිෂ්ටාවක් ලබන සංජානණ මූලයක් නොවේ. හැඩතල හුදෙක් සෙවනැල්ලක් බදු පැතලි ස්වරූපයකින් හෝ මතුපිටින් ඥාණනය නොවන්නකි. එය අැට සැකිල්ල, මාංශ පේශි සහ සම ද ඇතුළු සමස්තයක් හා ඒකාබද්ධව ඥානණය වන හැඩය රදා පවතින වස්තුවේ කේෂේත්‍රය යි. මෙය හරියට ගෙවල් හැදීම හා වාස්තු විද්‍යාව යනු දෙකක් වනවා වාගේ ය. මලළ ක්‍රීඩා උළෙළකට කරාටේ හෝ වුෂූ සටන් තරග වලට ඉදිරිපත් වනවාට වඩා ජීවමාන නිමිත්තක් පාදකව සටන් කරනවා යන්න දෙකක් වනවා වගේ වෙනස් ය. ආලෝකය සහ ආලෝකකරණය යනු දෙකක් වනවා වගේ වෙනස් ය. චිත්‍ර කතා සහ නව කතා යනු දෙකක් වෙනවා වගේ වෙනස් ය. ශබ්ද සහ නාද යනු දෙකක් වනවා වගේ වෙනස් ය. මොන්ගොලයිඩ් ප්‍රභේදයේ ම වන චීන්නු සහ ජපනා යනු දෙකක් වනවා වගේ වෙනස් ය. එල්.ටී.ටී.ය දිය කර දාපු රනිල් වික්‍රමසිංහ හා බංකොලොත් වූ එල්.ටී.ටී.ඊ. ශරීරයට වෙඩි තැබූ මහින්ද රාජපක්ෂ යනු දෙකක් වනවා වගේ වෙනස් ය.
පුළුන් පිරවූ ටෙඩි බෙයාර් රූපයකට කටුවකින් අනින විට අතට දැනෙන හැගීමයි ජීවමාන මනුස්සයකුගේ ශරීරය මත කටුවකින් අනින විට අතට දැනෙන හැගීමයි දෙකක්. මෙන්න මේ ස්වභාවය දෘෂ්‍යමානව හෙළිදරව් කළ හැකි දෙයක්. මෙම ස්වභාවය හෙළිදරව් කිරීමට උපකාරී වන්නේ හැඩ නොව හැඩතල ය. අප යමෙකු තුරුලු කර ගන්නා විට හෝ අප යමෙකුට තුරුළු වන විට අප එම තැනැත්තා හෝ තැනැත්තීයව අපට දැනෙන්නේ හැඩතල අනුසාරයෙනි. අප යමකුගේ නලල් තලය හිසේ රුදාවක් සන්සිදවනු පිණිස පිරිමදින්නේනම් අපගේ ඇගිලි තුළට ඔහු හෝ ඇයගේ නලල්තලය හැටියට දැනෙන්නෙ හැඩයක් නොව හැඩතලයකි. හැඩය යනු මෙයයි කිව හැකි තරමට හැඩතලය යනු මෙයයි භාෂාවෙන් ප්‍රකාශ කිරීම අසීරුය. එහෙත් ඒ පිළිබද තක්සේරුවක් ද හැගීමක් ද තමන් තුළ පැවතිය හැකි ය.
මට අමරදේව හැඩ බදු කතාවකි. කේමදාස හැඩතල බදු කතාවකි. අමරදේව සංගීතවත් කොට ගැයූ ගීත වල පදරචනය වෙනත් අන්තර්ගතයක් මත පිහිටුවා වෙනස් කොට එක ම තනුවට ම ගැයූවොත් පදරචනයේ තේරුම් අනුව වෙනස්කම් දැනුනත් සංගීතමය වින්දනය වෙනස් නොවේ. නමුත් කේමදාසගේ සංගීත තනුවක් / සංගීත නිර්මාණයක් එම පදරචනයෙන් පිට පිහිට වූ විට එය අයාලේ යයි. කේමදාස සංගීතය මගින් අල්ලන්නේ පදරචනය මගින් ප්‍රකාශ කරන වස්තු විෂයේ සංගීතමය පිහිටවීමයි. සරළව කිව්වොත් කේමදාස හැඩතල ගැන සංවේදී වන විට අමරදේව සංවේදී වන්නේ හැඩ ගැනයි. අමරදේව සංගීතවත් කළ ''පෙරදිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා'' ගීතයට වියෝගය පාදක වෙනත් ඕනෑ ම අද්දැකීමක් බහා එම තනුවට ම ගැයීය හැකි ය. ගුරුවරයකු, මිත්‍රයකු, ඥාතියකු එහි සදහන් පෙම්වතිය වෙනුවට පිහිටුවා ගැයූවත් වින්දනය වෙනස් නොවේ. මේ වගේ අමරදේව සංගීතවත් කළ ''ඉර හද පායන ලෝකේ'' ''බඹරෙකු හැඩුවයි'' ''ඇසේ මතු වන කදුළු බිදු ගෙන'' ...ආදී ගීත වල වස්තු විෂය වෙනුවට වෙනත් වස්තු විෂයයන් ඒවායේ මූලික ආවේදනයට හානි නොවන ආකාරයට බහා ගැයූවොත් වින්දනයේ වෙනසක් ඇති නොකරයි. පදරචන වල ඒ ඒ වස්තු විෂයේ මූලික මනෝභාවයන් හදුනාගෙන අමරදේව ඔහුගේ ගීත වල සංගීත නිර්මාණ වලට ඉන්දියානු රාග වල මනෝභාවයයන් ඒ අනුව ඒවාට කාවැද්දවීමයි කරනු ලැබුවේ. යමන් රාගය, කාෆි රාගය, බහිරවී රාගය .....ආදී ඕනෑ ම රාගයකින් ඉදිරිපත් කරන්නේ එක් මූල මනෝභාවයකි. ( ශෘංගාරය, කණස්සල්ල. ප්‍රීතිය, ආදී ලෙස)
නමුත් කේමදාස වස්තු විෂයට ඌණනය වී එය ම විදාරණය කරවීමයි කරනු ලබන්නේ. අමරදේව ගැයූ කේමදාස සංගීතවත් කළ ''විකසිත පෙම් පොකුරු පියුම්'' ''සද හොරෙන් හොරෙන් බලා'' ''පෙම්වතුනේ සිත දවනා පෙම්වතුනේ'' ''ප්‍රේම සැදෑවෝ'' වගේ ගීත වල වස්තු විෂය ම මිස වස්තු විෂය ආවරණය වන පොදු මනෝභාවයක් මත ඕනෑ ම අන්තර්ගතයක් බහා ගැයීය නොහැකි ලෙස කේමදාස වස්තු විෂයේ හැඩතලයයි අල්ලන්නේ. කේමදාස සංගීතවත් කළ කිසිදු ගීතයක් සංගීතය හොදට දන්නා කෙනෙකුට හැර විකෘති කළ නොහැක්කේ එබැවිනි. අමරදේව සංගීතවත් කොට ගයන ''පෙරදිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා'' ගීතය ''පෙර දිනයක මා පෙම් කළ හැතිරිය තවෙකෙක් දක්කනවා'', ''පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා'' වගේ විපර්යාස අමරදේවගේ තනු වලට කළ හැකි වූවාට කේමදාසගේ තනු වලට කළ නොහැකි ය. කේමදාස ලංකාවේ ජන සමාජයේ මනෝභාවයන් හි හැඩතල හෙවත් තථ්‍යාකාරයයි අල්ලන්නේ. එය ගලන ගගක ''ගලන බව'' වැනි ය. රෝස මලක ''රෝස බව'' වැනි ය. කුරුලු හඩක ''කුරුලු ගතිය'' වැනිය. කොල්ලෙකුගේ ''කොලු ගතිය'' වැනි ය. අර කුච් කුච් හෝතාහේ ගීතයේ මනෝභාවයක් හැටියට දැනෙන දගකාර වූ නාඹර ප්‍රේමානන්දය දැනවෙනවා වගේ කේමදාස එ ඒ ගීතයේ වස්තු විෂය ම හැඩතලයක් හැටියට අල්ලා ගන්නවා. මම දකින්නේ ස්වදේශික අපේ ජන ජීවිතයේ නිදන්ගත සැබෑ දේශීය මනොභාවයන් හා එහි නිලයන් අල්ලාගෙන අලංකෘත කරනු ලැබූයේ අමරදේව නොව කේමදාසයි. යමෙකුට තුරුලු වන විට ඥානණය වන්නේ එම පුද්ගලයාගේ හැඩය නොව හැඩතලය වන්නාක් මෙන් තුරුලු වීමෙන් දැනවෙන එම හැඩතලය තුරුලු වීමක නිලය වන නිසාවෙන් එය පොදු ජනයා දන්නා එහෙත් කියා ගත නොහැකි දේ සංගීතයෙන් කේමදාස විසින් විදාරණය කර දෙන නිසා ත් අමරදේව ගැයූ ගී අතුරින් කේමදාස සංගීතවත් කළ ගීත යි වැඩි වශයෙන් පොදුජනකරණය වී තිබෙන්නෙ.
අමරදේව තුළ ඇති විශේෂත්වය නම් හැගීම්බර පිරිමි කටහඩක් තිබීමයි. එම කටහඩ ප්‍රේමවන්තයකු හැටියට ද පියකු හැටියට ද වෙනත් ඕනෑම පිරිමි තත්වයකදී ඉදිරිපත් කළ හැකි දුර්ලබ ගීතමය කටහඩකි. කේමදාසට ද ගී ගැයීමට හැකි උවත් ඔහුට තම කටහඩ සමාජයට ගෙන යාමට අවශ්‍ය නොවී ය. කේමදාසට පියානෝව වැයීමට හැකි උවත් ඔහුට වාදකයකු වීමට උවමනා නොවී ය. ඔහුට ආයතන වල මහ පුටු දුන්නත් ඔහුට ඒවායේ ඉද ගැනීමට උවමනා නොවී ය. ඔහුගේ නිර්මාණාවේෂය අමරදේවගේ නිර්මාණාවේෂයට සපුරා වෙනස් ය. ඔහුට ඔහුගේ සංගීත තනු හා සංගීත නිර්මාණ වලට ගන්නා ගායක ගායිකාවන් යනු අමුද්‍රව්‍ය ය. ඔහුට එම අමුද්‍රව්‍ය නිර්මාණය තුළ නිර්මාණයේ අවශ්‍යතාවයක් මත පිහිටවනු විනා සමාජ පිහිටවීම් මත ඒ ඒ අමුද්‍රව්‍ය ලොකු හෝ පොඩි කර ගන්නා කෙනෙකු නොවේ. ඔහු නිර්මාණය ඉදිරියේ යක්ෂයෙකි. අමරදේවට ද කේමදාසගේ නිර්මාණයත් එක්ක බද්ධ විය හැක්කේ ඔහුගේ නිර්මාණ ආධිපත්‍යයේ අණසකට යටත්ව ය. එසේ වන්නේ කේමදාස හැඩ නොව හැඩතල අල්ලන සමුරායි කෙනෙක් හෝ ග්ලැඩියේටර් කෙනෙකු වන නිසා ය. කේමදාස සමග තවදුරටත් බද්ධ වීමට ඇල්බට් පෙරේරා ''අමරදේව'' බවට පත් කළ අය ඉඩ නොදුන් අතර අමරදේවගේ ගෝලයන් ද ඉඩ නොදුනි. ඒකට ප්‍රධාන හේතුව කේමදාසගේ සංගීත ප්‍රවේෂය බටහිර සංගීත සම්ප්‍රදාය වීමයි. නමුත් කේමදාස සංගීතවත් කළ ජනප්‍රිය වූ ගී නිර්මාණ බටහිර ද ඉන්දියානුද දේශීය ද යන්න සොයා ගත නොහැකි අමුතු හැගීමක් ඇති කරවන ඒවා බව මගේ අදහසයි. ඊට හේතුව කේමදාස අල්ලන්නේ වස්තු විෂයේ හැඩතලය වන නිසා ය. අමරදේව ද ඉන්දියානු සංගීත සම්ප්‍රදායෙන් පන්නරය ලබන්නේ නමුත් ඔහුගේ සංගීතය ද හුදෙක් ඉන්දියානු ගතියට වෙනස් අමුතු හැගීමක් ඇති නොකරනවා නොවේ.ප්‍රශ්නය වන්නේ සිංහල ජන විඥානය තුළ ඇති බටහිර විරෝධය කේමදාසට කුඩම්මාගේ සැළකිල්ලට බලපෑමයි. මගේ වැටහීම අනුව කේමදාස බටහිර සංගීතයෙන් සංගීත ප්‍රවේෂය ලබන්නේ නමුත් ඔහුගේ නිර්මාණ නියම දේශීය මනොභාවයන් කුළුගැන් වූ දේශීයකරණය කර ගත් සංගිත ශෛලියක් වන බවයි. ''අම්මාවරුණේ''''ළදුනේ''''පවනට සැලෙනා''...වැනි ජනාදරයට පත් වූ අනන්ත අප්‍රමාණ ගීත කේමදාස විසින් කදිම ලෙස දේශීයකරණය කරන ලද ගීතයි. ගිතයක දේශීය සංගීතාත්මය මත පදනම් කේමදාසට වඩා අමරදේව ''මහා චරිතයක්'' වන තරමට ලාංකිකයාට කේමදාස ''මහා චරිතයක්'' නොවූයේ කේමදාසගේ කට ද නිසා ය. කේමදාසගේ කටයි අමරදේවගේ කටයි පැහැදිලි ව වෙනස් ය. කේමදාස මානසික අල්අලස් හෝ වෙනත් ඕනෑ ම අල්ලසක් මගින් අල්ලා ගත නොහැකි නිර්මාණ උන්මාදයෙන් පෙළෙන මිනිසෙකි. ඔහු ගැන කව්රු ගුණ වැයූවත් ඔහු පෙරලා ගුණ වැයීමට නොයන්නේ ය. ඔහු සිටින්නේ නිර්මාණාවේෂයක ය. ඔහුට අමතර කතා අදාල නැත. ඔහු බොහෝ විට කෝපයෙන් බැන වදිනවා, හෝ අවනඩු දමා ගසනවා හැර ප්‍රශස්ති නොගයන අයෙකි. කොටින් ම කේමදාසට ලං වීමට හැමෝ ම බය ය. කේමදාසගේ කට ඒ තරමට හොද නැත. කට හොද නැති මේ මිනිසාගේ තනු නිර්මාණ තමයි දේශීය සමාජ දේහය පතුලේ ම නිදන්ගත වී ඇති තනු නිර්මාණ වන්නෙ. මෙය අත්හදා බලන්න ඔබට මම යෝජනාවක් කරන්නම්. ''ජීවිතේ අමධාරා'' ''පවනට සැලෙනා''''ප්‍රේම සැදෑවෝ'' වැනි කේමදාස සංගීතවත් කළ ගීත සහ 'ජගන් මෝහිණී මධුර භෘෂිණී'' ''ඔබ සුමුදු නෙත් කැලුම්'' ''සදකත්පිනිදිය'' වැනි අමරදේව සංගීතවත් කළ ගීතයි කුඩා දරුවන්ට ඇහෙන්න සැලැස්සුවොත් අමරදේව තනු නිර්මාණය කළ ගීතයකට ඇදී එන පොඩි ළමයින්ගේ ප්‍රමාණයට වඩා කේමදාස තනු හා සංගීත නිර්මාණය කළ ගීත ශ්‍රවණය පිණිස ඇදී එන ප්‍රමාණය වැඩියි. අර අන්ධ ගායිකාවක් ගයන ''අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවදෝ මුමුණනවා'' ගීතයේ වගේ වාලම්පුරියක ඇතුලතින් එන ''හෝ'' ගාන ශබ්දය වගේ මතුපිටට යටින් ''මොන මොනවදෝ'' මුමුණන කුල්මත්කාරක ස්වභාවයක් කේමදාසගේ තනු හා සංගීත නිර්මාණ වල තියෙනවා.
ගවුස් මාස්ටර්, සුනිල් ශාන්ත, ආනන්ද සමරකොන් ආදීන්ට පසු අමරදේවට සමකාලීනයන් හා පසුකාලීන ස්ටැන්ලි පීරිස්, එම්.ආර්.චූලසිංහ,ඔස්ටින් මුණසිංහ,සරත් දසනායක,එච්.එම්. ජයවර්ධන, ක්ලැරන්ස් විජේවර්ධන,රෝහණ වීරසිංහ, වික්ටර් රත්නායක,මර්වින් පෙරේරා,නන්දා මාලිනී, ලයනල් රංවල, රෝහණ බැද්දගේ, සුනිල් පෙරේරා, , රූකාන්ත ගුණතිලක,කසුන් කල්හාර ආදී විවිධ සංගීත බලකණු පරයා අමරදේව රාජ්‍යයේ අනුහසින් අධිනිෂ්චය වූ අතර වෙනත් කුමන ධාරාවකට වඩා අනියමාර්ථයෙන් වහෙන් ඔරෝ අමරදේවගේ සතුරු කදවුර ලෙස අමරදේවගේ අනුගාමිකයින් විසින් හැගවුම් කරන ලද්දේ කේමදාස සතුරු කදවුර හැටියටයි. ( කේමදාස කදවුර නියෝජනය කරන එකද රාජ්‍යතාන්ත්‍රිකයකු නැති තරම් ය. අධ්‍යාපන දෙපාර්තමේන්තවේ මහපුටු ද පොඩිපුටු ද සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මහපුටු ද පොඩි පුටු ද සෑම බළධාරී සාධකයක්මේ ම පාහේ අමරදේව කදවුර නියෝජනය කරන අයගෙන් ය සමන්විත වී තිබෙන්නෙ.) ඔවුනට සෑමවිට ම උවමනා වූයේ අමරදේව කේමදාසගෙන් ගලවා නිදහස් හෙළයේ ගාන්ධර්වයා කරවීමටයි.මෙහිදී ඔහු හුණුවටයේ කතාවේ මයිකල් කුමාරයාගේ ඉරණමට ය ලක් වූයේ. මෙහි ප්‍රතිඵලයක් හැටියට යි කේමදාස සංගීතය සැපයූ අමරදේව ගැයූ ගී ඩබ්.ඩී.ආරියසිංහ ලවා ගයවා කේමදාස විසින් අමරදේව කදවුරට සරදම් කරනු ලබන්නේ. මේ අවස්ථාවේ ''කොවුලගෙ හඩෙයි කපුටගෙ හඩෙයි වෙනස සමාජය දන්නවා'' කියලයි අමරදේව ම සමාජයට කියූවේ. ඇත්ත වශයෙන් ම අමරදේව අමරදේවට අයිති නැති මනුස්සයෙකි. අමරදේව මුලු ජීවිත කාලය පුරා ම සමාජයේ කොන්තරාත්තුවක් මහත් වූ ඕනෑකමින් සතුටින් ඉටු කළ අයෙකි. ඔහුගේ කටහඩ ග්ලැඩියේටර් කෙනෙකුගේ තරම් ප්‍රතාපවත් උවත් ඔහු යනු පවුලේ හැමෝගෙම පදයට නටන්න වුණ පවුලේ බඩපිස්සකු වගේ ය. ඕන කෙනෙකුට නම්මවා ගත හැකි නම්‍යශීලි මේ මිනිසාට අවසානයේ තම මළ මිනියවත් තමාට අයිති නැති දෙයක් විය. තම අන්තිම කැමති පත්‍රයේ ආශාව වත් ඔහුගෙන් උදුරා එය සමාජයේ ආශාව බවට පත් කිරීමට අමරදේවගේ අනුගාමිකයින්ට උවමනා විය. මේ අය අමරදේව අමරදේවගෙන් ගලවා සමාජය තුළ දිව්‍යමය කරන ලද්දේ අමරදේව යනු ''ජාතික වස්තුවක්'' ලෙස ව්‍යවහාර කිරීමෙනි.
ජාතියේ මහා ගාන්ධර්වයා හැටියට අමරදේව අභිෂේක ලබන්නේ නමුත් අමරදේවගේ මධුර කටහඩ සැබෑවට ම අර වාලම්පුරියක හෝ ගානා ශබ්දය වගේ නිදන්ගත හැඩතල මතින් උත්කෘෂ්ටත්වයට පත් කළ කේමදාස මහා චරිතයක් නොවන්නේ හැඩ හදුනා ගන්නා තරමට හැඩතල හදුනා ගැනීමේ සාක්ෂරතාව විරල සමාජයක් වන නිසා සහ ක්ෂේත්‍රයේ කුහකකම නිසා ය. මම සිත්තරකු හැටියට අසීමිතව ප්‍රේම කරන්නේ අමරදේවගේ කටහඩට ය. නමුත් මට අනුව අයස්කාන්ත දේශීය සංගීත ආත්මය ප්‍රේමසිරි කේමදාස ය.මෙම අදහස නිකන් ම නිකන් පහළ වූවක් නොවේ. අමරදේව ප්‍රේමයෙන් දේශාභිමානයෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් අප සතපවන ලද නමුත් කේමදාස තනු හා සංගීත නිර්මාණ වලින් සෑම සමාජ පන්තියක ම සෑම සමාජ සංසිද්ධි පාදකව තනු හා සංගීත නිර්මාණ කොට සිමාසහිත නොවී ය. මොන රෝගියාත් වෛද්‍යවරයකුට රෝගියා වන්නා සේ කේමදාසට සංගීතයනම් ක්ෂේත්‍රය තුළ වස්තු විෂයයන් වස්හැතු විෂයයන් හැටියට ඒකමාන විය. ඔහු සංගීතය මගින් රාජ්‍ය දෘෂ්ටිවාදයට හිතකර වස්තු විෂයයන් මත පමණක් නොපිහිටා කටයුතු කළ අයෙකි. සැබෑ සංගීතාත්මයකි. අමරදේවට අප තුළ ගෞරවයක් ද භක්තියක් ද ඇති නමුත් රාජ්‍යයේ සියලු රෙජිමයන් උපයෝගී කරගෙන අමරදේව දිව්‍යමය කොට අමරදේවගේ මධුර කටහඩට සාධාරණය ඉෂ්ට කළ කේමදාසලා චූල කොට සබුද්ධික ව වෙනස්කම් කිරීම නිසා අපේ දරුවන් වෙනුවෙන් අපට මෙසේ ලියන්න සිදු විය. අවසානයේ මට කිව යුත්තේ'' හැඩ හදුනා ගන්න ලේසියි. හැඩතල ගැන දැනෙන නමුත් හැඩතල හදුනා ගන්න අමාරුයි.'' කියලා ය.
-සුජිත් රත්නායක
Comments