වර්ණ පදාස-මානව රූප-රේඛා පිහිටුවන ජවසම්පන්න ප්‍රකාශනශීලී චිත්‍ර ශෛලියක්
- සිසිර කුමාර මහගම. සිළුමිණ
- Mar 5, 2016
- 4 min read
තරුණ චිත්‍ර ශිල්පියෙකු වන සුජිත් රත්නායකගේ දෘශ්‍ය කලා කෘති කීපයකි මෙහි දැක්වෙන්නේ. සමකාලීන ශ්‍රී ලාංකේය දෘශ්‍ය කලාවේ ඉතාම කැපීපෙනෙන කුසලතාපූර්ණ චිත්‍ර ශිල්පියෙකු ලෙස සුජිත් හඳුනාගත හැකිය. මෙරට මෑතකාලීන එනම් පසුගිය දශක එක හමාරක් පමණ ඉක්මවූ කාල පරිච්ඡේදයක අතිශය ප්‍රකාශනශීලී චිත්‍ර කලා කෘති ගොඩනඟන ලද චිත්‍ර ශිල්පියා සුජිත් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඔහුගේ සිතුවම් අබිමුවට වන් සහෘදයෙකු යම් සසලවීමකට බඳුන්වන තරමට ඒ සිතුවම් හි සමස්ත ප්‍රකාශනය ජවසම්පන්නතාවයකින් යුතුවේ.
කැන්වසය මත වේගවත්ව පින්සල හැසිරවීමටත් එමඟින් ඔහුගේ ම රූපකායට සමීප මානව රූපයක් කැන්වසය මත ප්‍රසාංගිකාකාරව චලනයක රැඳවීමටත්, එමෙන් ම තවත් අවස්ථාවක දී කැන්වසය මත එම මානව රූපය ම එක්වන ම නිසසලව ඝනීභවනය වූ රූපික පිහිටුවීමකින් ඉදිරිපත් කිරීමටත් ඔහු සතු කුසලතාව සුවිශේෂි වූවකි. හිතුවක්කාරි ලෙස වර්ණපදාස කැන්වසය මත තැවරීමටත් ඒ හා සමාන අගයකින් යුතුව සියුම් රේඛාව මහත් විනයකින් යුතුව නම්‍යශීලීව රිද්මිකව කැන්වසය මත චිත්‍රණයත් යන උභය ශෛලීමය ශීක්ෂණය එකමිටට ගෙන ස්වකීය කලා ප්‍රකාශනයේ අරමුණු ඔස්සේ කැන්වසය මත මුදාහැරීමට තරම් වූ ඔහුගේ ශිල්පීය කෞශල්‍යතාව විශිෂ්ටවූවකි.
සුජිත් රත්නායක
සුදුපැහැති පෘෂ්ටය මත කළු වර්ණය කිසිදු පැකිළීමකින් තොරව නොබියව හැසිරවීමට හා කළු පැහැයේ (Hue) ගැබ්ව පවතින අගය (Value) කලා ප්‍රකාශනයේ මුඛ්‍ය අංගයක් ලෙස යොදා ගැනීමේ ශක්‍යතාව මැනවින් ප්‍රතියමාන කරණ ලද වර්ණ ප්‍රකාශනවාදී සිත්තරෙකු ලෙස ද සුජිත් හඳුනාගත හැකිවේ. මෙරට නූතනවාදී කලාව තුළ දී සිට ඔහුගේ කලාව දක්වා වූ එම ප්‍රවේශය පුරෝගාමී එළඹුමක් ලෙස ද හඳුනාගත හැකිය. මෙබඳු ප්‍රවේශයක් ආධුනික චිත්‍ර ශිල්පීන්ට පහසුවෙන් ජයගත නොහැකි වූවකි.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයෙන් (එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අධ්‍යයන අංශය) මූර්ති කලා අංශයෙන් උපාධිය 2000 වසරේ දි හිමි කරගත් සුජිත් එම වසරේදිම ජපානයේ ෆුකෝකා කලාගාරය විසින් සංවිධානය කරනු ලැබූ Winds of Artists in Residence නම් සය මාසික කලා කඳවුර සඳහා මෙරට නියෝජනය කරමින් තෝරාගනු ලැබීය. ෆුකෝකා කලාගාරය ආසියාතික චිත්‍ර ශිල්පීන්ගේ කලා කෘති ඊට පෙර සිටම ප්‍රදර්ශනය කරනු ලැබුවද එබඳු වැඩමුළුවක් සංවිධානය කරන ලද්දේ 2000 වසරේ සිටය. ඒ අනුව එම වැඩසටහන සඳහා තෝරාගනු ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික දෘශ්‍යකලා ශිල්පියා සුජිත්ය.
“හෘදය සාක්ෂිය හමුවේ නිරුත්තර වීම” නමැති ස්ථාපන කෘතිය හා “ඇණ මිනිසා” (2009) මූර්තිය සුජිත් විසින් නිම කරන ලද්දේ සරසවි සිසු අවදියේය. සිමෙන්ති මාධ්‍යයෙන් සිදුකරන ලද මානව රූ කීපයක් එකට සංරචනය කරන ලද ඉහත ස්ථාපනයේ එම මානව රූ එකිනෙක සමඟ බාහිර හෝ අභ්‍යන්තරිකව සබඳතාවක් නැතිව එහෙත් එකිනෙක හා සමීපව පිහිටුවන ලද්දකි. මානව රූපික මූලික හැඩතල වලින් සමන්විත වූ එම මූර්ති නිසලව බිමට නැඹුරු කරගනු ලැබූ හිසින් යුතු වූවකි. මෙම නිසසල හුෙදකලා රූපී මානව රුව පසුව ඔහුගේ සිතුවම් තුළට මෙන් ම ඊට පසුප්‍රාප්ත බොහෝ නවක සිත්තරුන්ගේ කලා කෘති තුළට පිවිස ඇති ආකාරය දැකිය හැකිය.
“ඇණ මිනිසා” මූර්තිය ද ඉහත ස්ථාපනයේ මානව මූර්ති හැඩයක විශාලනයකි. සාමාන්‍ය මිනිස් උස ඉක්ම වූ එම මූර්තිය අභ්‍යන්තරිකව නිහඬබවක් ගම්‍ය කරවන නිසල මානව රූපි හැඩයකි. මූර්තිය ගොඩනඟා ඇත්තේ යකඩ ඇණ මාධ්‍යයෙනි. මෙරට නූතනවාදි මූර්තිකලාව සමකාලීන මූර්තිය වෙතට සංකල්පියව හා එහි හැඩතලමය වෙනස සඳහා ද පිවිසි අවස්ථාවකට නිදසුනක් ලෙසට මේ මූර්තිය හැඳින්විය හැකිය. එහි හැඩයත් එමෙන් ම මූර්තිය ගොඩනැඟීම සඳහා උපයුක්ත ද්‍රව්‍යාත්මක දෙයෙහි හැඟවුම්කාරකත් අතර ගැටුම තුළ එහි අරථ උද්දීපනය වේ.
කැන්වසධාරක චිත්‍ර ශිල්පියෙකු ලෙස සුජිත්ගේ ප්‍රවේශය වඩාත් නිශ්චිතව දෙදාහ වසරේ සිට හඳුනාගත හැකිය. “වදන් විශ්වය තුළ” හා “පුරහල බෝම්බයෙන් පසු” යන සිතුවම් එම වසරේ කැපී පෙනුණු සිතුවම් ද්විත්වයකි. “වදන් විශ්වය තුළ” කෘතිය නිම වන්නේ සුදු කැන්වසය මත ඇක්‍රලික් මාධ්‍යයෙන් කළු වර්ණය යොදා ගනිමිනි. තම දෑතේ දබරැඟිලි මඟින් ස්වකීය දෙසවන් වසාගෙන වික්ෂිප්තව සිටින චිත්‍ර ශිල්පියාගේ ම රූපකායට සමාන මානව රුවක් එහි මුඛ්‍ය රූපික අංගය ලෙස දැක්වේ. පසුබිම ගොඩනැඟී ඇත්තේ එකිනෙක මත පතිත නිමක් නොමැති අකුරු හා වචනවලිනි. එකී අකුරුවල රූපික පිහිටුවීම අසූව දශකය අග අජිත් තිලකසේනගේ විසිඑක්වන පෙම්කවිය සිහිගන්වයි.
සුජිත් රත්නායක ජපානයේ ෆුකෝකා කලාගාරයේ චිත්‍රයක් නිමකරමින්
මෙම චිත්‍රය තේමාත්වක ව හා චිත්‍රමය ලෙස ද විපුල අර්ථ ජනනය කරවන්නකි. ව්‍යුහවාදය හා පශ්චාත් ව්‍යුහවාදි දැනුම් පද්ධතිවලට අනුව ‘භාෂාව හා යථාව’ පිළිබඳව මතුකරනු ලැබූ බුද්ධිමය සංවාදයට මෙම සිතුවම මනාව අදාළ කරගත හැකිය. භාෂාව අරබයා මෙම නවමු දැනුම මෙරට සමාජය තුළ මේ අවස්ථාව වනවිට වඩාත් නිරවුල්ව ගොඩනැඟී ඇති නමුදු මෙම කෘතිය ගොඩනගනු ලැබූ සමකාලීන මොහොතට අනුව එහි අර්ථකාරමය ප්‍රවේශය වැදගත් වූවකි. එවක ප්‍රවාද සඟරාවක මුල් කවරය සඳහා ද එම සිතුවම යොදාගෙන තිබිණි.
“පුරහල බෝම්බයට පසු” (2000) සිතුවම මෙරට දෘශ්‍ය කලාවේ එක් සන්ධිස්ථානයකි. කොළඹ නගරයේ මහජන රැස්වීමකදී එවක ජනාධිපතිනිය බෝම්බයකට ලක්ව ඇගේ ඇස තුවාල වීම, බෝම්බ රැගෙන ආ තරුණිය ගේ මුහුණ පුවත්පත්වල පළවීම ආදි එම සිදුවීම පිළිබඳව ජනමාධ්‍යය මඟින් දුටු පුවත් පාදක කොටගෙන එම කලා නිමවුව කළු හා සුදු වර්ණයෙන් සිදුකර ඇත. ජනපතිනියගේ මුහුණ, බෝම්බ සැකකාර තරුණියගේ මුහුණ සහ තම මිතුරියන්ගේ මුහුණ ඡායාරූප සහිතව කාන්තා මුහුණ ඡායාරූප සංරචනයක් පරිදි එම කලා කෘතිය ගොඩනඟා ඇත. කළු - සුදු ඡායාරූපය නම් අංගය දෘශ්‍ය කලා නිමවුමක රූපික අංග ලෙසට ප්‍රතිව්‍යුහගත කරන ලද ප්‍රශස්ථ අවස්ථාවක් ලෙස එම කෘතිය හඳුනා ගත හැකිය. 2001 වසරේ දී ජපානයේ ඔසාකා හි පැවති (Osaka Triennale) කලා ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට එම කලා කෘතිය තෝරාගනු ලැබිණි.
සුජිත්ගේ කලා කෘතිවල ගැබ්ව පවතින අතිමහත් ප්‍රකාශනශීලී ගුණය අර්ථගන්වා ගැනීමේදි ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් වෙත ද යම් ආකාරයක අවධානයක් යොමුකිරීම අවශ්‍යවේ. 2004 සුනාමි රළ ඔහුගේ කලා කෘති බොහෝ ප්‍රමාණයක් විනාශ කරනු ලැබුයේ ජීවිතය ඔහුට ඉතිරිකර දෙමිනි. එම අත්දැකීමේ සිට ඔහුගේ චිත්‍රයේ ශෛලිය වෙනස්කම් සියුම් ලෙස දැකගත හැකිවේ. කෙසේ නමුදු නැවත ඔහු අගනුවර ආශ්‍රිතව කලා ක්‍රියාකාරිත්වයේ නියැළීම් සංස්කෘතිකමය වශයෙන් අප ලද වටිනාකමකි.
සුජිත්ගේ කලා ප්‍රදර්ශන ගණනාවක් මෙරට අගනගරයේ මෙන් ම විදේශයන්හි ද පවත්වා තිබේ. ඔහුගේ කලා කෘතිවල ගැබ්වන ප්‍රබලතාව ඔහුගේ ජීවිත අරගලයෙන් වියෝවූවක් නොවේ. අවංක බව හා නිර්ව්‍යාජ බව එම කලා කෘති තුළ පවතියැයි සඳහන් කළොත්, එය තාක්ෂණික ප්‍රතිනිෂ්පාදන මෙවන් යුගයක දී සරදමට ලක්වන්නක් විය හැකිය. නමුදු කලා කෘතියක විශිෂ්ටතාව යනු ඒ වෙත ඊට පිටතින් ගොනු කරනු ලබන විෂය මූලික තත්වයක් පමණක් නොවේ. එම කෘතිය තුළම ගැබ්ව පවතින නෛසර්ගිකමය ගුණයන් ද ඊට බලපායි. එබැවින් එහි අර්ථ ජනනය යනු ‘වස්තුවේ’ හා ‘විෂයයේ’ ම සංකලනයක් ලෙස සිදුවේ. ඒ අනුව සුජිත් ගේ කලා කෘති “කරුණාකර කලාව නැත” යන අර්ථයට පිටතින් පවතී.
ගෝලීය ධනවාදි පාදමක නමුදු මේ අවදියේ ශ්‍රී ලාංකේය කලාවට සුජිත් අතාර්කික වී නැත. නවාගත දෘශ්‍ය කලා ශිල්පීන්ට ඔහුගේ කලාවෙන් ලබාගත හැකි පාඩම් ඉතා වැදගත් වූවකි. ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි තම ආචාර්ය උපාධි නිබන්ධනයේ දී “මාඝාත” නාට්‍ය කරුවා ම “ඉනිඅවන්” සිනමාකරුවා දක්වා වූ පැවතීම මතුකර දක්වයි.
“හෘදය සාක්ෂිය නිරුත්තර වීම සිට” හෙට දවසේ නවමු දෘශ්‍යකලා ප්‍රදර්ශන දක්වා සුජිත් “මානුෂීය” නිමේෂයකින් හමුවීම අපගේ ප්‍රාර්ථනාවයි.
සිසිර කුමාර මහගම
කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා
ප්‍රධාන පිටුවකතුවැකියවිශේෂාංගසත්මඬලව්‍යාපාරිකසිත් මල් යායතීරු ලිපිරසඳුනඅභාවයන්
webmanager@lakehouse.lk
Excellent choice! Lost Mary Watermelon Ice is appreciated for its steady quality and refreshing profile.